අරලියා මල් පිපෙන සුන්දරම ඉසව්වක,
නුඹව මට හිමි උනා මතකයිද මන්දා.....
මම නුඹෙන් වෙන්ව ගිය මොහොත තව මතකයිද,
නුඹේ නෙතේ කඳුළු මම දැක්කා........
අපි අපේ නොවුනාට ආදරේ හැමදාම,
කොහේදෝ මගේ හිතේ තිබුණා,
අතීතය සුන්දරයි නුඹ කිව්ව විදිහටම,
අදත් නුඹ දුටුවාම හිතුනා.....
මචං අවුරුදු ගණනකට පස්සේ මම අද උඹව දැක්කේ... හරියටම අවුරුදු පහළොවකට පස්සේ වෙන්න ඇති... උඹයි මමයි අපි දෙන්නම වයසට ගිහින්...
වෙනස් වෙලා අපි දෙන්නම පෙනුමෙන්...
ඒත් වෙනස් නොවී තිබුනු එකම දේ මාව දැක්කම එදා වාගේම දිස්නේ දුන්න උඹේ ඇස්....
ඒ දේම මගේ ඇස් උනත් උඹට කියන්න ඇති...
මචං උඹ දන්නවද...
මම වැඩියෙන්ම ආදරේ හිත තිබුනේ උඹ ගාව...
මම වැඩියෙන්ම කියවපු හිත තිබුණේ උඹ ගාව...
මම වැඩියෙන්ම විඳපු රූපේ තිබුණේ උඹ ගාව....
ඒත් උඹ ආදරේ කරපු හිතුවක්කාරකම තිබුනේ අවාසනාවට මගේ ගාව...
සීරුවට මැදපු සුදු පාට කමිසයට ඇඳපු ක්‍රීම් පාට කළිසම දුඹුරු පාට බඳ පටිය එදා තරමටම උඹව හැඩ කළා... වමතේ තිබුණු ඔරලෝසුව.. ඒක මට හරිම පුරුදුයි...
මම ඒ දිහා බලනවා දැකපු උඹ හීනියට හිනා වුණා....
"ඔව්.... ඒ ඔයා අරන් දුන්නු එක..."
උඹ එහෙම කිව්වා....
මම කොයි තරම් දඩබ්බරද කියනවා නම් එළියට ආව කඳුලු හංගා ගන්න ළඟ තිබුණු කවුළුවෙන් අනන්තය බැලුවා...
"මොනවද බොන්නේ අපි...?"
උඹ එහෙම අහද්දි මට මතක් උනේ උඹ ආසම කරන කළු කෝපි... ඒත් කොහේදෝ ඉඳලා පැනපු මුරණ්ඩුකම උඹ අකැමැතිම දේ මට මතක් කළා...
"කිරි කහට.."
ඉස්සරෝම දවස් වල නම් තරහට මාව කොනිත්තපු උඹ මොකුත් නොකියාම හිනා වෙලා මාත් එක්ක කිරි කහට බොන්න පටන් ගත්තා....
ඒ අතරේ මම හෙමින් බැලුවේ උඹේ දකුණු අත දිහා...
කාට හෝ අයිතිවුණු ලකුණක් තියෙනවාද හොයාගන්න මම මහන්සි වුනු අතරේ උඹ හිනා වෙලා තවමත් නිදහස් උඹේ දකුණු අතැඟිලි පෙන්නුවා...
"ඔයා බැන්ඳද..?"
බොහොම සන්සුන්ව උඹ මගෙන් ඇහුවා...
ඉතින් මගේ දඩබ්බරකම "ඔව්" කියලා උත්තර දුන්නා...
එදා තරම්ම ලෙන්ගතු උඹ එක්ක ගෙවපු හෝරා දෙකකට පස්සේ මම තනිවම සුපුරුදු නවාතැන් කාමරයට ආවා....
ඇත්තම කිව්වොත් අද මට පට්ටම දුකයි...
එදා වගේම අදත් මම උඹව නැති කරගත්තා.. නැත්තටම නැති කර ගත්තා....
ඒ මගේ හිතුවක්කාරකම...
මාන්නක්කාරි....