Friday 12 June 2020

ඇණා සහ මායාකාරයා -01.



ඇණා කියන්නේ හරි ආදරණීය කෙල්ලකට. මායාකාරයා කියන්නේ ඇණාටත් වඩා ආදරණීය ඒ වුනත් ටිකක් විතර මූසල කොල්ලෙකුට.
ඇණා ට ඒ නම දැම්මේ අර නපුරු මායාකාරයා . එතකොට නපුරා මායාකාරයා කියන නම දැම්මෙ ඇණා තමයි. 

ඒ ආදරණීය කෙල්ලට ඇණා කියන්නේ එයා ඇණයක් වගේ හැම මොහොතකම අර මායාකාරයාගේ පැටලෙන නිසයි.
හ්ම්ම් එතකොට අර නපුරට මායාකාරයා කියන්නේ අසරණීට මායාවක් කරලා වගේ ආදරයෙන් බැඳගෙන ඉන්න නිසයි.
ඇණා සහ මායාකාරයාගේ හමු වීමත් හරි අපූරුයි.

ඇණාට ජීවිතේ අසීරුම කාලයක අහම්බයෙන් තමයි මේ මායාකාරයව  හමබවෙන්නේ. මායාකාරයත් ආදරේ හොයනවා ඒ දවස් වල.... ඉතින් දෙන්නා කථා කරනවා ..... ආදරෙත් හුවමාරු වෙනවා. ඒත් මේ මායාකාරයාගේ හිත හරිම චංචලයි. අරහෙ දුවනවා... මෙහෙ දුවනවා....   මුලදී මායාකාරයා ඇණාව ප්‍රතික්ෂේප කරනවා . ඇණා ටිකක් නෙවෙයි ටිකක් වැඩිපුර ඇට්ටර කෙල්ලක්. මායාකාරයා ඇණාට ඈත් වෙන්න කොයි තරම් දේවල් කලත් ඇණා නෙවෙයි වෙනස් වෙන්නේ. මායාකාරයා පෙන්නන්න හදන්නේ මහා ලොකු ජීවිත දර්ශනයක් එයා ළඟ තියෙනවා, එහෙම නැත්නම් එයා හරි පරිණත ජීවියෙක් වගේ. ඒත් ඇණා දවසක් දැන ගන්නවා  මායාකාරයා ඇතුළේ ඉන්නේ තමන්ටත් වඩා ඔල්මොරොන්දම් ළමා චරිතයක් කියලා. 
ඉතින් දෙන්නා ආදරය කරන්න පටන් ගන්නවා.... ඒ ආදරේ හරි ලස්සනයි. අත්තටු අතරේ පාට හංගා ගෙන පියාඹන සමනලයෙක් අතර මගදී හම්බවෙන මල් වලට පාට ඉහිනවා වගේ මායාකාරයා ඇණාගේ ජීවිතේ පාට කරන්න පටන් ගත්තා...... තද ඉර අවුවෙ වේලිලා මියැදෙන්න ළං වුන ළපටි දල්ලක් රකින්න ඉරේ රැස් මුවා කරන ලොකුම ලොකු වළාකුලක් වගේ අර මායාකාරයා ඇණාව සතුටින් පිබිදුවා..... හීන වල පැටලිලා එන නරකම පුරුද්දක් මායාකාරයා ළඟ තියෙනවා..ඇණා ඒ ගැන ඇහුවම මායාකාරයා නම් කියන්නේ එයා එහෙම නොකරනවා කියලයි.... ඒත් හැමදාම උදේට ඇණාගේ වම් කම්මුල උඩ තියන හාද්දක ස්පර්ශය තමයි ඇණා නින්දෙන් අවදි කරන්නේ....

ඇණා සහ මායාකාරයා කියන්නේ මේ ලෝකේ එකම ආදර කථාව නෙවෙයි....  ඒත් නිවී සැනසිල්ලේ සරළව ගලාගෙන යන තවත් එක ආදර කථාවක්....

ඒ හෝ බදේට වැහැලා  ... වැස්ස පෑව්වා විතරයි....ඒත් තවමත් හීනියට වැහි පොදක් සුළං රැළි වල නැගලා පාවෙලා වගේ යනවා. හුළඟ මේ තරම් සීතල ඒකයි. ඇණා තනියම හිතුවා. වළා තිර මෑත් කරලා ඉර මේ ලෝකේ දිහා බැලුවේ හොරෙන් වගේ... මායාකාරයාගේ ඔත්තුකාර සේවාවට දැන් මෙයාලත් එකතු වෙලා වගේ කියලා හිතුනේ නිකමට නෙවෙයි. ඇණාට කේන්තිය ඉහ වහා යන්න.

ඒත් එක්කම ඇණා දකිනවා දුර අහසේ පෙනෙන තෙක් මානයටම විහිදුනු දේදුන්නක්. දේදුන්න කියන්නේ ස්වභාව ධර්මයේ සුන්දරම නිර්මාණ අතරින් එකක්. මෙච්චර පාට ගොඩක් එකතු වෙලා පාලමක් විහිදෙන්නේ කොහාටද කියලා පුංචිම කාලේ ඇණා නිතර කල්පනා කළා .  

සුරංගනා  ලෝකේ ඉඳන් ආදරේ ගේන සුරංගනාවියෝ මේ ලෝකෙට එන්නේ සහ ආපහු යන්නේ මේ දේදුන්න දිගේ කියලා ඇණාටත් කිව්වෙ දවසක් පස්ස රතුම රතු පාට කොණ්ඩා කුරුල්ලෙක්....

 එදාත් මේ වගේම පින්නේ ඉර එළිය වැටීගෙන එන අතරතුර දේදුන්නකුත් පායලා තිබුන දවසක්. එක සැරේට ඇණාට කුරුළු විලාපයක්  ඇහුනේ පේර ගහ පැත්තෙන්.  මේ ළඟකදී ඉඳන් බිත්තර රකින කොණ්ඩ කුරුළු ජෝඩුව මතක් උන ඇණා විදුලි වේගයෙන් නතර උනේ පේර ගහ යට. කුරුළු කූඩුව දිහාවට හෙමින් හෙමින් ඇදෙන ලොකුම ලොකු ගැරඬියෙක්. ඇණා එදා බොහොම අමාරුවෙන් තමයි කොණ්ඩ කුරුළු ජෝඩුවට එයාලගෙ බිත්තර බේරලා දුන්නේ. අන්න ඒ දවසේ තමයි එයාලා ඇණාට දේදුන්නේ රහසත් කිව්වේ.

දේදුන්න මැකීගෙන යනවා ඇණා දැක්ක.

“ සුරංගනාවියෝ ටික ගිහින් ඉවර ඇති”

 ඇණා තනියම එහෙම හිතුවා. 

ඉතින් එක පාරටම ඇණාට කම්මැලි හිතෙනවා. එතකොට සුපුරුදු විදිහට මායාකාරයාට කරදර කරන්න ඕන කියලා ඇණාගේ හිතට එනවා.ආයේ දෙපාරක් නොසිතා ඇය මායාකාරයා ව අමතනවා. දහසකුත් එකක් වැඩ තියෙද්දී උනත් මායාකාරයා ඇණා වෙනුවෙන් වෙලාව හොයාගන්නවා.... දුරකථනයේ අනිත් කෙළවරෙන් බොහොම බැරෑරුම් විදිහට මායාකාරයා පිළිතුරු දෙනවා.

“දේදුන්න කියන්නේ මොකක්ද....?”

ඇණා කෙළින්ම මායාකාරයාගෙන් අහනවා. 

කෙටි නිහඬතාවයක් ...... මායාකාරයා කල්පනා කරනවා වෙන්න ඇති.... එයා කොහොමත් දෙන්නේ දාර්ශනිකයි කියලා පෙනෙන උත්තර. මායාකාරයා හරි ආසයි එහෙම කරන්න.

ඇණාට ඉවසගෙන ඉන්න බැහැ තවත්...

“සුරංගනා  ලෝකේ ඉඳන් ආදරේ ගේන සුරංගනාවියෝ මේ ලෝකෙට එන්නේ සහ ආපහු යන්නේ මේ දේදුන්න දිගේ” කියලා පස්ස රතු කොණ්ඩා කුරුළු ජෝඩුව කියලා දුන්න දේ ඇණා ඒ විදිහටම මායාකාරයාට කියලා දෙනවා.

“හ්ම්ම්..... ඒකත් එහෙමද..... මම හිතුවේ “ දෙව් දුන්න” කියන එක පද සන්ධි වෙලා ඔය වචනේ හැදුනා කියලනේ....” එහෙම කියලා මායාකාරයා නිහඬ වෙනවා...


මාන්නක්කාරි....

1 comment:

  1. ඒක හරි ආදරණීය කතාවක්. මායාකාරයෙකුට ආදරය කරන එකත් සුන්දරයි.

    ReplyDelete