Tuesday 9 June 2020

සොඳුරු...



තනිකම යනු ආදරය තරමටම විඳින්නට යමක් ඇති දෙයකි, ආදරයට ඇබ්බැහි වන්නේ යම් සේද ජීවිත තනිකමට ඇබ්බැහි වීමද වළක්වා ගත හැකි නොවේ. ඔබ ආදරය වින්දත් තනිකමට ආදරය කරත් ජීවිතය ගෙවෙනු ඇත.ලොව සොඳුරු දේ අපමණ ඇත, සමහර විටදී මිහිරි වන තනිකමට වඩා, විටෙක ආදරණීය බැඳීම් අතිශය සොඳුරු වන්නේ ය.

සීතල හිමිදිරියක දුම් දමන උණුහුම් තේ කෝප්පයක රස විඳින්නට තනිවම උත්සාහ දරන්න, කවුළු පියන් හැර දමා අළුත් සුළඟට මුහුණ සිපගන්නට ඉඩ දෙන්න.හැල්මේ දුවන ලෝකය එක මොහොතකට අමතක කර පාවහන් රහිත පතුලින් තණ බිමක් දිග ඇවිද යන්න, සීතල රාත්‍රියක ඔබ ආදරය කරනා පොතක් අවසාන වන තුරු එක හුස්මට කියවා බලන්න, ඔබ තනිව හිඳිනා හැම මොහොතේම නිහඬවම පරිසරයට සවන් දෙන්න, හමන සුළඟ මුමුණන කථාව කුමක්දැයි තේරුම් ගන්නට උත්සාහ දරන්න, ඒ සුළඟ රැගෙන යන මල් සුවඳ විඳින්නට අමතක නොකරන්න. 

නීල වර්ණයෙන් දිදුළන අහස මෙන්ම මන්දාරම් අහසද කාට හෝ කියනා  කථාවක් ඇත, 
තරු පිරුණු අහසද සඳ තනිවම බබළණ විටකදී අහසද සොඳුරු බව ඔබ විමසිල්ලෙන් බලන විට අවබෝධ වනු ඇත, තාරකාවන්හි මළානික එළියද සඳ එළිය සේම රාත්‍රි ය හැඩ කරන බව සැබෑවකි.

රැහැයි හඬ ඇසෙන දිනකට වඩා ඒ හඬ නොමැති නිහඬ රාත්‍රීන් සාමකාමී බව තවකෙකුට හැඟෙනු ඇත.සිරි සිරිය සමග හීන් සීරුවේ ගස් වල අතු පතර සිප ගෙන පොළවට වැටෙන දිය පොදක් මෙන්ම මොර සූරන වැස්සක් ද අහසින් පොළවට දිය රැගෙන එයි,ගලා යන දිය දහරකත් කුඩා දිය කඩිත්තකත් ජීවිතය රැඳී පවතී. 

ජීවිතය ඇත්තේ විඳින්නට බව අමතක නොකළ යුතුය, ඔබට ලැබී ඇති දෙයට සහ ඔබේ සීමාවේ ඇති දෙයෙහි සුන්දරත්වයට ආදරය කරන්න.ජීවත් වන්නට බොහෝ දේ උවමනා නැත. ලෝකය ලස්සන වන්නේ හදවත සොඳුරු මිනිසුන් ජීවත් වන තැනදී ය. ඔබත් සුන්දර මිනිසෙක් වන්න, එකිනෙකාට අයිති අවකාශයට ගරු කරන අයෙකු වන්න.
ඔබේ ජීවිතය ඔබට උරුම අවකාශය තුළ විඳින්න, මම මගේ ජීවිතය විඳිමි.


මාන්නක්කාරී... 

No comments:

Post a Comment