Thursday, 11 June 2020

හිමි අහිමි




හැඟුම් වනාහී සිත්හි පිබිදෙන, මියෙන අරුමැති දෙයකි...... සමහර සිත්හි පූදින හැඟීම් වලට පණ දෙන්නට නොහැකි වු තැන ඒ ලොවට හොරාම උපන් ගෙයිම මියැදෙති..... සබඳතා ගොඩනැගෙන්නේ ද බිඳ වැටෙන්නේද හැඟීම් පදනම් කරගෙනය. එකිනෙකාගේ සිතිවිලි අවබෝධ කර ගැනීම... අවබෝධ කරනොගැනීම..... වැරදියට අවබෝධ කරගැනීම .... මේ සියල්ල අද ඔබද මාද අත් විඳින සත්‍යයන් වේ. 

හැඟීම් යැයි කිව් සැනින් ඔබට මට මුළින්ම සිහිවන්නේ ආදරය බව සැබෑවකි. ඒ අපි සැවොම ආදරය යනු සුන්දර හැඟීමක් බව අවිවාදයෙන් පිළිගන්නා බැවිනි. ආදරය අසුන්දර සිහිවටනයක් කරගත්තෝද මෙලොව වෙති. බොහෝ දෑහි සුන්දර අසුන්දර බව අප දකින්නේ ඔබ මා අදාළ සිද්ධීන්ට ප්‍රවේශ වන ආකාරය මතය.

විරහව අප අඩු වශයෙන් වර්ණනා කරන හැඟීමකි... 

වැස්ස ඇදහැලෙන මොහොතක තුරු පතක් බදාගෙන පොළවට වැටෙන්නට අකැමැත්තෙන් ඉන්නා වැහි බිඳුව අපට කියන්නේ විරහවක තරමය.වෙරළ සොයාවිත් ආපසු දියඹට ඇදෙන  කිරි පැහැති රළ පෙළ අපට පෙන්වන්නේ විරහවය.හිරු බහින හැන්දෑවේ රක්තවර්ණ දිලෙන අහස පෙන්වන්නේ විරහව වර්ණගන්වන ආකාරයය. පෘථිවි ගෝලයේ වුවද එක් පසක් ආලෝකයෙහි සිනාසෙන විට අනෙක් පස අඳුරේ ගිලෙන්නේය.

ඔබ සුන්දර යයි දකින දෙයෙහි තවත් අයෙක් අසුන්දර පැත්තක් දකිනු ඇත. ඔබට අසුන්දර දෑ තවත් අයෙකුට මිහිරක් ගෙනෙන්නට සමත් වනු ඇත.

ඉදින් නිදහසේ හිතුවොත් විරහවත් විඳින්නට හැකි සුන්දර හැඟුම් අතරින් එකකි...”


මාන්නක්කාරි....

No comments:

Post a Comment