Tuesday 9 June 2020

කලු කෝපි....



මෙලොව වසනා සියලුම කළු කෙල්ලන්ට ආදරයෙනි.....

අද උදෑසනම මතකයේ කොහේද ඈතකට විසිකර දමා තිබූ පිළුනු උන සිතුවිලි ගොන්නක් මතුව විත් එහේ මෙහේ සරනු දැනේ....
ඒ මතකය යළිත් මා වෙත ගෙන ආවේ නෙත ගැටුන කවි පෙළකි.

“මෙලනින් වැඩි වී 
මී පැණි පැහැ වූ හමක් 
සොබාදහමේ.., 
උත්කර්ෂයෙන් නිමැවු යමක්

ආදරය හා දයාර්දය 
රැඳුනු ඇහැකට පමණක්
ඇය, හොප් මලින් පෙරු 
වසන්ත බීර ඔඩමක් “

මතකය දුවන්නේ අවම වසර දොළහකටත් එසේත් නැත්නම් මාස එකසිය හතළිස් හතරකටත් තවත් කියනවා නම් දින හාරදහස් තුන්සිය අසූවකටත් එහාටය. 

එවකට මා එකුන් විසි වියැති තද පාට සමකට උරුමකම් කියන රුවින් අඩු කෙල්ලකි. මාගේ වාසනාවට හෝ අවාසනාවට ඔහු කඩවසම් කොල්ලෙකි.ඉතින් ස්වභාවධර්මයේ රීතීන්ට පටහැණි නොවී ආදරණීය මේ කෙළි සිත ඔහුට දැඩිව පෙමින් බැඳුනාය. නමුත් සම්ප්‍රදායික පිරිමි සිත විසින් මගේ ආදරය දැඩිව ප්‍රතික්ෂේප විය. හේතුව අයෙකුට සාධාරණ වන්නටද තවත් අයෙකුට අසාධාරණව පෙනෙන්නටද පුළුවන. ඒ මගේ ජීවිතයේ මම දැඩිව කම්පනයට පත් වූ අවස්ථාවකි. එතැන් සිට මම වැඩිපුරම කලකිරීමට පත් වූයේ මගේ කළු හම පිළිබඳව ය. කවුරුන් කෙසේ කීවද මට මගේ සිත කථා කර මතක් කර දුන්නේම මම අවලස්සන කෙල්ලක බවය.

නමුත් කාලය නමැති ඔෞෂධය සිත තුළ පැවති රිදුම් සුව කර ආත්ම විශ්වාසය ඇති කලේ කෙසේදැයි නොදනිමි. කාලය ප්‍රශ්න වලට හොඳම විසඳුම් ලබා දෙනවා නොව කාලයත් සමඟ අප ඒ ප්‍රශ්න හමුවේ නොසැළී සිටින්නට තරම් පරිණත වනවා යයි මට සිතේ.
එදා මෙන් අද මට සුදු පැහැති සමැති කෙල්ලක වන්නට උවමනා නැත. මී පැණි පැහැති සමක හිමි කාරියක වීම අද මා සිතට ගෙනෙන ආත්ම විශ්වාසය පිළිබඳව මටම පුදුමය.  

පෞරුෂත්වයේ වර්ධනයට සමෙහි පැහැය අදාළ නොවන බව මම විශ්වාස කරන තැනට පත්ව සිටිමි. අද මගේ අනන්යතාව මේ කළු පැහැති සමය. එය වෙනස් කර ගැනීමට දැන් මට අවශ්‍ය නැත.

ආදරය ලැබෙන්නේ සමෙහි පැහැයට නම් ඔබ ඒ ආදරය ප්‍රතික්ෂේප කිරීමට තරම් ශක්තිමත් වන්න.බාහිර පෙනුමට ඇති ආකර්ෂණයට වඩා වැඩි යමක් ආදරය තුළ පැවතිය යුතුය. දිගු කාලීන ශක්තිමත් බැඳීමක ගැඹුරක් ඇත. එසේ නොමැති නම් එය හුදෙක් ආකර්ශණයක් පමණි. දිගු කාලයේදී ඔබ පසු තැවෙන ගැටළු ගොන්නක් නිර්මාණය කරන හැඟීමකි.
හැම ගැහැණියම සුන්දරය. ඒ බව මෙලොව වසනා හැම කෙල්ලක්ම තේරුම් ගත යුතුය. ඊටත් වැඩියෙන් කෙල්ලන් අමතක නොකළ යුතු කරුණක් ඇත. හැම කෙල්ලෙක්ම මෙලොවට පැමිණෙන්නේ කිරුළක් හිස දරාගෙනය. ඒ හැම කෙල්ලෙක්ම රැජිණක් වීමට සුදුසු බැවිනි. ඉතින් නුඹ කළු වූවාට කම් නැත....

හැම ගැහැණියම රැජිණකි.


මාන්නක්කාරී... 

No comments:

Post a Comment