Tuesday, 9 June 2020

අමුඩේ....



අඩෝ.... උඹ ඉන්නවද...??”

“හ්ම්ම්.......”

“අදත් උදෙන්ම පටන් ගත්තද බර බරේ... හුම්ම්ම් ගාන්නේ උඹලගේ තාත්තා බස්සෙක්ද...මූසලී....”

“සුගා ......උඹ දන්නවනේ සරු ජනිතයෙක් බිහි වෙන්න නම් එකම විශේෂයක ජීවීන් අන්තර් අභිජනනයේ යෙදෙන්න ඕන කියලා...”

“හරි හරි.... කවුද දන්නෙ උඹ සරු ජනිතයෙක්ද කියලා , විශේෂ දෙකක අන්තර් අභිජනනයෙන් තමයි කොටළුවා ඉපදෙන්නේ.. ”

“සුගාආආආආආ.. ”

“හරි .. හරී.... සොරි සොරි වෙන්නෝන මචං”

“සුගා... මට එපා වෙලා බං ඉන්නේ...”

“ඇයි ... මොකක්ද සීන් එක.....”

“අනිද්ද එනවා බං මාව බලන්න කට්ටියක්... මට දැන් එපා වෙලා.... අම්මලට තේරෙන්නේ නෑ මම කියන දේවල්... මට ඔය ප්‍රපෝසල් හරියන්නේ නෑ...ඉසේ ඉඳන් කාගෙන මරාගෙන ඉන්න පුළුවන් එකෙක් බැන්දොත් ඇරෙන්න...”

“පැටී......”

“ඇයි බං... ???”

“පැටී....... “

“මම පැටී තමයි....මොන මගුලක් ද සුගා......?”

“පැටී... මේ සැරෙත් විහිළුවට ගන්න එපා බං..... මම අම්මලා ට කථා කරන්නද උඹ ගැන....??”

“උඹට පිස්සුද සුගාආආආආආ... හැම වෙලාවෙම මගේ ඔළුව කන්න බලාගෙන ඉන්න එකෙක්ව කසාද බඳින්න මට පිස්සුද...??”

“ඉතින් දැන් උඹමනේ කිව්වෙ උඹට ඕන එහෙම එකෙක් කියලා...”

“මේ සුගා... උඹ මගේ බොක්ක... එච්චරයි....”

“පැටී.... තේරුම් ගනින්.. මට උඹව ඕන.. මම උඹට ආදරෙයි.. මම ගෙදරට කතා කරන්නම්...”

“අනේ සුගා මෙන්න වැන්දා... විකාර නොකියා හිටපන් බං....”
 
එහෙම පිළිතුරක් තියල ඇය සංවාදය නිම කළා..... මිනිත්තු පහකින් පමණ නැවතත් සිය ජංගම දුරකථනයට පණිවිඩයක් ලැබෙනු ඇසී ඇය එය පිරික්සුවාය...

“පැටී..... මචං මම අද උඹලගේ ගෙදරට කථා කරනවා.. මම ලබන මාසේ ලංකාවට එනවා....”

“සුගා.... උඹට පිස්සුද.... යාළුවෙක් කසාද බඳින්න මට බෑ..”

“උඹට බැරි වුනාට මට පූළුවන්නේ...මම දැන් ගෙදරට කතා කරනවා.... අම්මට ෆෝන් එක දීපං...”

ඇය සංවාදයට තිත තැබුවාය...
ඒත් සමඟම නිවසේ ස්ථාවර දුරකථනය නාද වනු ඇසී ඇය කළබලයෙන් එහි සම්බන්ධක රැහැන ගලවා දැමුවාය.

මඳ වේලාවකින් සිය ජංගම දුරකථනයට නැවත පණිවිඩයක් ලැබෙනු දුටු ඇය එය විවෘත කළාය.
පණිවිඩය ඔහුගෙන්ය.

“පැටියා.... මම ඇත්තටම මේ කියන්නේ... මම ලංකාවට ආවම උඹලගේ ගෙදර එනවා... එතකන් හිටපං... උඹ මම කියන දේ ඇහුවේ නැත්නම් හරි උඹලගේ ගෙදරින් මට අකැමැති වෙලා උඹ අද කියපු කෙනා උඹව බලන්න ආවොතින් හරි මෙන්න මේක තමයි වෙන්නේ.....”

(එහි වූයේ සමන් ලෙනින් මහතා ගයන පහත ගීතයයි....)

“දුන්නු තේ එකට සීනි වෙනුවට කලපු ලුණු
හැන්දක්ම වැටියාන්//
ආයුබෝවන් කියන මොහොතේ බුලත් 
හෙප්පුව බිම පෙරලියාන්
කොයිතරම් ලස්සන වුනත් මට ඌට මහ වස
කැතට පෙනියාන්....

පරපුරේ පම්පෝරි දොඩවන අම්මගේ කට
වචන ගිලියන්
කැස්ස හැදිලා ආත්තම්මට වාත පිත තරඟයට
කිපියන්
අයියා පණ්ඩිතයා නොඑන්නට වාහනේ 
කැඩියන්
නොකළ හින්ඳා වැරැද්දක් මට තාත්තට වෙන
වැඩක් වැටියන්

මකුළුදැල් නැන්දම්මාගේ දෑසට කිතුල් මල් වාගේම
පෙනියන්
නොහොබිනා හරුපයක් කියවී කාගෙ හරි
හිත තදට රිදියන්
මඟුල එහෙනම් තීන්දුයි දැන් කීවොතින්
හොර කපුවා එසැනින්
අළුත් නෑකම් සභා මැද්දේ අනේ ඕකගේ සරම
කැඩියන්......
මොකක් හරි හේතුවක් හින්ඳා.. අමුඩේ අමතක වෙලා තිබීයන්.....”

ඇය තම සිනාව වාවා ගත නොහැකිව මිනිත්තු කිහිපයක් ගෙව්වාය.
සිය ජංගම දුරකථනය රැගෙන පිළිතුරක් යවා ඇය නිහඬ වූවාය.

“සුගා ..... උඹ අපේ ගෙදර වරෙන්.....”

ආදරේ එහෙමය.... විටෙක සරළය... සොඳුරු ය.


මාන්නක්කාරි....

හෙවනැල්ල


නුඹව මට දැනෙන්නේ විසල් අහස තරමට,
ඒ අහස ළඟට උස කන්දක් තරමට,
ඒත් නැති නම් ඉතින්,
රළක්වත් නොනංවන,
ගැඹුරු දියඹක් තරමටම........
නුඹව මම විඳින්නේ සුසිනිඳු මල් සුවඳ තරමට,
උදෑසන ගලන රන් ඉරේ රැස් තරමට,
ඒත් නැතිනම් ඉතින්,
උයන් වතු පිස හමන මේ,
සීතළම සුළඟ තරමට....

ආදරය හිතෙයි කියලා එක මොහොතකටවත් නොහිතුන නුඹ ගාව අද මම නතර වෙලා. නුඹේ පුංචිම වෙනසකටත් ඉව අල්ලන තරමට මම හිතින් බැඳිලා. මුලදී මාව කරදරයක් උන නුඹට අද මාව නැතිව බැරි වෙලා. 
ආදරය ඇති වෙන්නේ හදවතේ ගැඹුරින් කියලා එදා නුඹ මාව ප්‍රතික්ෂේප කරද්දී මම නැවතුනේ හිතුවක්කාරකමට වෙන්නැති. මම නුඹව දිනුවද , නුඹ මාව දිනුවද නොතේරෙන තැනක නොගැළපීම් ගළපගෙන අද අපි එකට ජීවත් වෙනවා. 
නුඹ ඔය විදිහටම ඉන්න. ආශ්චර්යයක් වෙලා නුඹ වෙනස් වෙනවට වඩා මගේ ආදරේ හොරකම් කරපු ඔය රළු පෙනුම යට තියෙන ආදරේ පිරුණ හදවතට මම තාම කැමතියි.

මාන්නක්කාරී....